වැඩෙ පටන් ගනිමුකො
එහෙනම්, මුලින්ම PLACE එක තියෙන්නෙ කොහෙද, තියෙන්නෙ මොනවද ,විස්තර ටිකක් බලමු................
උපන් බිමෙන් නොදත් තොරතුරු බිඳක්
* පිහිටී
1.1. පළාත - දකුණු පළාත
1.2. දිස්ත්‍රික්කය - ගාල්ල
1.3. මැතිවරණ කොට්ඨාශය - අංක 57, බළපිටිය
1.4. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය - බළපිටිය
1.5. මායිම් -
උතුරට - බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
දකුණට -අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
නැගෙනහිරට - කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
බටහිරට - ඉන්දියන් සාගරයට මායිම් වූ ප්‍රදේශයයි
1.6. අක්ෂාංශ පිහිටීම -
නැගෙනහිර දේශාංශ 80.1 හා 80.5 අතර
උතුරු අක්ෂාංශ 6.4 හා 6.22 අතර
1.7. විශාලත්වය - වර්ග කිලෝමීටර 64.5
1.8. භූමි ප්‍රමාණය -
5.62 (ගාල්ල දිස්ත්‍රික්කයේ සුඵ භූමි ප්‍රමාණයෙන් 4 %ක් වේ)
1.9. වසම් ප්‍රමාණය - 52
1.10. පලාත් පාලන ආයතනය - බළපිටිය ප්‍රාදේශිය සභාව
1.11. පොලිස් බල ප්‍රදේශ - අම්බලන්ගොඩ, අහුන්ගල්ල, කොස්ගොඩ
1.12. අධිකරණ ප්‍රදේශය - මහා අධිකරණය බළපිටිය
දිස්ත්‍රික් අධිකරණය බළපිටිය
මහේස්ත්‍රාත් අධිකරණය බළපිටිය
1.13. ගොවිඡන කේන්ද්‍රය - අහුන්ගල්ල
කොළඹ සිට දකුණු දෙසට සැතපුම් පනහක් ද, ගාලු සිට උතුරරට සැතපුම් විසිදෙකක් ද ගමන්කරන විට හමුවනයේ වැලිනදිය (මාඳු ගඟ) මහසයුරට වැටෙන වැලිතොටයි. මෙම වැලිනදිය ඇසුරු කොටගෙන සරුසාර වු බිම් ප්‍රදේශය පුරාතනයේ නම් දෙකකින් හඳුන්වා ඇති බව තත්කාලීන ඉතිහාස හා සාහිත්‍ය කෘතිවලින් හෙළිවේ. වැලිනදියෙන් පෝෂණය වන ප්‍රදේශය අරුතින් “වාලිකාය” යනුවෙන් ද භාරතයේ සාලිරටෙන් පැමිණි වංශවත් බ්‍රාහ්මණ උතුමන් වාසය කළ හෙයින් “සාලියා රට” යනුවෙන් ද දම්පියාඅටුව ගැටපදයේ මෙම ප්‍රදේශය හඳුන්වා තිබේ. ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය ද එය අනුමත කරමින් මෙම ප්‍රදේශය “වාලුකා දේශය” හා “සාලියා රට” යන නම් දෙකින්ම හඳුන්වා ඇත. හොවංසයේ 86 වන පරිච්ඡේදයේ 49 ගාථාවේ සිට 57 ගාථාව දක්වා සවිස්තර කර ඇත්තේද මෙම ප්‍රදේශයේ ශ්‍රී විභූතියයි.
දඹදෙණියේ රජකම් කළ කලාකාළසාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු නිරිඳුන්ගේ අණින් මෙම ප්‍රදේශයට පැමිණි දේවප්‍රතිරාජ නම් මහාමාත්‍යතුමන් හා ඔහුගේ බලසේනාව මෙම ප්‍රදේශයට පැමිණි දේවප්‍රතිරාජ නම් මහාමාත්‍යතුමන් හා ඔහුගේ බලසේනාව මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳ නතර වූහ. එම බලසේනාව කඳවුරු බැඳගත් පිටිය එතැන්පටන් “බළපිටිය” ( භටපිට්ඨි) යැයි හඳුන්වා ඇත. එසේම පසුකාලයේ දී වැලිනදිය මහසයුරට වැටෙන තොට යන අරුතින් “වැලිතොට” (වාලුකාතිත්ථ) යනුවෙන් ද මෙම ප්‍රදේශය හැඳින්වූ අතර අද ද එම නාමය ව්‍යවහාර කරයි.
මෙම වැලිතොට හෙවත් බළපිටිය ප්‍රදේශය කොට්ටේ යුගය වන විට කෙතරම් සශ්‍රීක සමෘද්ධිමත් පුරවරයක් ලෙස විරාජව තිබුනේ ද යන්න එකළ ලියවුණු සන්දේස කාව්‍යයන්ගෙන් තොරතුරු හෙළිකර ගත හැකිය
“විරුවන්ගේ නිජබිම” යන විරුදාවලිය ලත් බළපිටිය එදා මෙදාතුර දැයට දයාද කළ ගිහිපැවිදි විරුවන් සයගණනකි. ඒ අතරින් ලක්දිව අමරපුර නිකාය පිහිටුවමින් බුදුසසුන ජනසතු කළ මහකරාවේ ශ්‍රී ඥාණවිමලතිස්ස මහනාහිමියන්, පංචමහාවාදය පවත්වා බෞද්ධ දර්ශනයේ සදාතනික සත්‍යතාව ලොවට හෙළිකල වාදීසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන්, රන්දොඹේ ධම්මාලංකාර, මහකරාවේ විමලසාර, වැලිතර සිරිසුදස්සන උප සංඝරාජ අහුන්ගල්ලේ විමලකිත්ති, කොස්ගොඩ ධම්මාවංස මහානාහිමියන් අතුඵ සංඝපිතෘන් වහන්සේලා ප්‍රමුඛ වෙති. එසේම රටට දැයට සමයට වැඩක ගිහි විරුවන් ද මහත් රාශියක් බළපිටියෙන් බිහිවුණි.
වසර සියගණනක ඉතිහාසයක් තුළ බළපිටිය සාහිත්‍යධරයන්ගෙන් සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණය බිහි වී ඇත. ඒ සියලු කෘති
1. මහා කාව්‍ය
2. වංශ කථා
3.සන්දේශ
4.චම්පු කාව්‍ය
5.ව්‍යාකරණ
6.කෝෂ ග්‍රාන්ථ
ආදි තේමාවන්ගෙන් යුක්තය. සාහිත්‍ය යුග අතර බළපිටිය (වැලිතොට) සාහිත්‍ය වෙනම යුගයක් වශයෙන් නම් කළ හැකි බව සඳහන් කරමි.
1931දි ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලදි ගාල්ල දිස්ත්‍රික්කයට බළපිටිය නමින් මන්ත්‍රි කොට්ඨාශයක් බිහිකරන ලදි. එකල බළපිටිය සීමාව බෙන්තර සිට ගින්තොට දක්වාද රට තුලින් බද්දේගම දක්වාද විය. එකල බළපිටියට අම්බලන්ගොඩ, බෙන්තර, ඇල්පිටිය,රත්ගම කරන්දේණිය යන මැතිවරණ බල ප්‍රදේශ අයත්ව තිබුනි. කලින් කලට සිදුවු ප්‍රතිසංස්කරනයන්ගෙන් පසුව වර්තමානයේදි බළපිටිය වර්ග කිලෝමීටර 64 පමණ බිම්ප්‍රමාණයකට සීමාවී ඇත. බළපිටිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශය හා බළපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය එක සමාන වන අතර මෙය ග්‍රාම නිලධාරි කොට්ඨාශ 52කින් සමන්විතය.
බළපිටිය ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රි හා සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි කර්තෘ ගරුමුනි රොබට් ද සොයිසා මැතිතුමා කලුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ මහා දානපති සිරිල් ද සොයිසා මැති තුමා,නිදහස් ලංකාවේ ප්‍රථම අධිකරන අමාත්‍ය රේවත විද්‍යාලය හා බළපිටිය ගුරු විද්‍යාලයේ ආදි කර්තෘ ශ්‍රිමත් ලලිත රාජපක්ෂ මහා දානපති කප්පින වලව්වේ මහාමුදලිඳු සැම්සන් රාජපක්ෂ මැතිතුමා, එමෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයකු වන ඩී.පී.ද සිල්වා , ආචාරිය කොල්වින් ආර්.ද සිල්වා නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ඉන් කිහිපදෙනෙකි.
*බලපිටිය සුන්දරත්වය හා පාරිසරික සංවේදී ස්ථාන
කුඩා කදු කිහිපයක් හැරුණු විට තැනිතලා ප්‍රදේශයක් වූ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ ප්‍රදේශය හරහා ගලා බසිනා කුඩා ගංගා තුනකි.මාදු ගඟ රන්දොඹේ ගඟට එක් වී බලපිටිය මෝදරින් මුහුදට ගලා බසී.දූවේ මෝදර ගඟ කොස්ගොඩින් මුහුදට ගලා බසී.හෙක්ටයාර 70ක් විවෘත ජල පද්ධතියක් හා දූපත් සමූහයකින් යුතු මාදු ගඟ ලෝක උරුමයක් කර ඇති සුන්දර ගංඟාවකි.ග්‍රාම සේවක වසමකින් යුතු මාදුව මෙම ගඟහි ප්‍රධාන දූපත වන අතර අනෙකුත් දූපත් සමුහය ඇතුලු මාදු ගංඟා නිම්නය හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ පාරාදීසියකි.වර්ග කිලෝමීටර 8.5ක් පුරා පැතිර ඇති මාදු ගඟ මෙම කොට්ඨාශයේ සුන්දරත්වය හා පාරිසරික සංවේදී බව අපූරුවට විදහා පානු ලැබේ.2004 වර්ෂයේ සිට රුමිසා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හා 2006 ජූලි 17ගැසට් නිවේදනය මගින් මාදු ගඟත් එම රක්ෂිතයත් කොට්ඨාශයේ සුන්දරත්වය හා පාරිසරික සංවේදී බව අපූරුවට කියාපාන බව අන්තර්ජාතික තෙත් බිම් සම්මුතිය මුලින්ම අත්සන් කෙරුණු ''ඉරානයේ රුම්සා නගරයේ නමින්'' එනම් රුම්සා තෙත් බිමක් ලෙස ලෝකයේ වැදගත් තෙත් බිම් අතරට මෙම තෙත් බිම ද එක්වීම තුළින් පැහැදිළිය.
අතීතයේ දී මාදු ගඟ දූපත් 64 කින් සමන්විත වූ රමණිය ගංඟාවකි.එහෙත් වර්තමානයේදී ඉතිරිව ඇත්තේ මින් දූපත් 25 කි.අනෙක් දූපත් කාලයත් සමග ම විනාශ වී ගොස් ඇත.කලකට ඉහත මාදු ගඟ ආශ්‍රිතව දුපත් 64 ක් තිබූ බවට ආනන්ද රාජකරුණා මහතාගේ, මෙම කවිය සාක්ෂි දරයි
''නිල් මල් බිසව් කෙළිනා මාදු ගගේ
දූපත් හැට හතර මාලෙක මැණික් වගේ
අතරින් පතර තැන් තැන් වල ඉවුර දිගේ
දාගැබ් පෙලින් ඇති වුණු ලස්සනක අගේ''
මෙහි පිහිටි දූපත් කිහිපයක් කලු ගල් තලා වලින් නිර්මාණය වී ඇති අතර අනෙකුත් දූපත් ගොඩබිම් ප්‍රදේශ වේ.මෙම දූපත් අතරින් කුඩාම දූපත වන ''සත පහේ'' දූපත මෙසේ කුඩා ගල් තලාවකින් නිර්මාණය වී ඇති දූපතකි.
* මාදු ගග ආශ්‍රිත ශාක හා සත්ත්ව ප්‍රජාව
මාදු ගඟ රක්ෂිතය අවට වෙසෙන්නා වූ සත්ත්ව ප්‍රජාවද ශාක ප්‍රජාවද විශේෂත්වයක් උසුලයි.සාගර දූෂණය ,වෙරළ ඛාදනය ආදී ව්‍යවසනයන් වැලැක්වීම මෙන්ම මත්ස්‍ය සම්පත බෝවන තිබිරි ගෙය ලෙස කඩොලාන ශාක හැදින්විය හැකිය.ගංවතුර උරාගැනීම තෙත් බිමක විශේෂ ලක්ෂණයකි.මල් කඩොල්,සිරිකන්ඩ,කිරල මන්ඩ,කටු ඉවිල් ,මුට්ට කඩොල්,ගිංපොල් හා කැරන් කොකු ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන කඩොලාන ශාක වන අතර මාදු ගග ආශ්‍රිතව කඩොලාන වර්ග 14 ක් පමණ දක්නට ලැබේ.
දැනට ශ්‍රී ලංකාවේ කඩොලාන විශේෂ 30 ක් පමණ වාර්තා වේ.ඉන් විශේෂ 5 ක් වඳ වීමේ තර්ජනයට ලක් වෙමින් පවතින බව හදුනාගෙන ඇති අතර රතමිල්ල(Lumnitzera littorea) ඉන් එක් විශේෂයකි.
ජෛව විවිධත්වය අතින් සුවිශේෂ ස්ථානයක් හිමිවන මෙම කඩොලාන ශාක විශේෂය ශ්‍රී ලංකාවේ රම්සා (Ramza)තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම මාදු ගඟ පරිසර පද්ධතියක් ආශ්‍රිතව පමණක් වාර්තා වේ.මාදු ගඟ ආශ්‍රිතව ඇති 21ඊ ඇළතොට ග්‍රාමසේවා වසමට අයත් පාතමුල්ල නම් ග්‍රාමයේ,ඔවිලාන ප්‍රදේශයේ මෙම රතමිල්ල ශාකය හමුවේ. මෙම කඩොලාන ශාකයේ මල් පිපුන කල මාදු ගඟ තෙත් බිම පරිසර පද්ධතිය වර්ණවත් කරනු ලබයි.එමෙන්ම මාදු ගඟ හා ඒ ආශ්‍රිතව ඇති මල් හට ගන්නා ශාක වර්ග අති විශාල සංඛ්‍යාවක් ඇති අතර සියලුම ශාක වර්ග 302ක් පමණ ඇති බව ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික සොබාදහම හා සොබා සම්පත් සංරක්ෂණ සංගමය මගින් සිදුකරනු ලැබූ ජෛව විවිධත්ව පිළිබද සමීක්ෂණයක දී සොයාගෙන ඇත.එමෙන්ම මාදු ගඟ පරිසරය තුළ ඖෂධීය ගුණයෙන් අනූන ශාක වර්ග විශාල ප්‍රමාණයක් හදුනාගත හැකිය.
මාදු ගඟ 2005වසරේ සිට අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම කුරුල්ලන් ඇතුඵ සතුන් නැරඹීමෙහි අසිරිමත් ස්ථානයක් බවට පරිසරවේදින් හා පරිසර හිතකාමින් අතර ප්‍රචලිතව තිබුණි.මාදු ගඟ පරිසරය ආශ්‍රිතව කුරුලු වර්ග 111 කට පමණ අයත් කුරුල්ලන් ඇති බවට සොයාගෙන ඇති අතර මොවුන් වැඩි වශයෙන් දැකිය හැක්කේ හිමිදිරි යාමයේ හා සන්ධ්‍යා සමයේ වේ.එමෙන්ම සිසිර සමයේ ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ හිම සහිත සීතලෙන් මිදීම සදහා කූරුලු වර්ග විශාල සංඛ්‍යාවක් ලංකාවට සංක්‍රමණය වන අතර මොවුන් අතරින් වැඩි පිරිසක් මාදු ගග ආශ්‍රීතව ලැගුම් ගැනීමට පෙළඹෙති.
ලෝකය සුන්දර සොදුරු ස්ථානයක් බවට පත් කිරීමට උපකාරී වන සත්ත්ව විශේෂයකි.සමනලුන් ලංකාවේ සමනලුන් කුල 09ක් දක්නට ලැබෙන අතර මාදු ගඟ ආශිතව එම සමනල කුල 09 ක් දක්නට ලැබේ.
මාදු ගඟ ආශිතව වෙසෙන සත්ත්වයින් අතර මසුන්,උරගයින්,ක්ෂිරපායින්,දියගොඩ සැරයන් වූ ගෙම්බන් මැඩියන් ආදී විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය.විල්මුව,(Axis porcinus) දියබෙල්ලා,(Lutra Lntra) හදුන් දිවියා,(Prinulniss Virerrinus) සහ ශ්‍රී ලංකා රත්කලු වැද්දා(Paradoxurns Zeylonensrs) වැනි තර්ජනයට ලක් වූ සතුන් වර්ග ද මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ.එමෙන්ම මීමින්නා,ගෝනමුවා,වැනි දුර්ලභ ගණයේ සත්ත්වයන්ගෙන් සමන්විත වන මෙම රක්ෂිතය තුළ මෙවැනිම දුර්ලභ ගණයේ සතුන් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය.මාදු ගගෙහි කිඹුල් ගහණය ද සැලකිය යුතු ප්‍රමාණයකින් වේ.ගැට කිඹුලා,හැල කිඹුලා ඉන් ප්‍රධාන තැනක් ගනී.
සොබා සෞන්දර්ය හා බැදි කර්මාන්ත පිළිබදව විමසන විට මාදු ගඟ ආශ්‍රිතව මිරිදිය ධිවර කර්මාන්තය පවත්වා ගෙන යන අතර කොහු ලෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන මාදු ගඟ ආශ්‍රිත ජීවනෝපාය අතර තවත් කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යනු ලබන අතර මෙවැනි ස්ථාන කිහිපයක් මෙම කොට්ඨාශය තුළ ඇත.එමෙන්ම මාදු ගඟ ආශ්‍රිත පරිසරය සංචාරකයින්ගේ පාරාදීසියක් බවට පත් වී ඇති බැවින් ඒ ආශ්‍රිතව නිර්මාණය වන සංචාරක නිකේතන කිහිපයක් ද හදුනාගත හැකිය.